Gossips

බැඳුම්කර කොමිසමේ ඇතැම් වාර්තා ප්‍රසිද්ධ කළ නොහැකි බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.
නීතිපතිවරයා දන්වා ඇත්තේ එම ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම මගින් විභාග වෙමින් පවතින අපරාධ නඩු සහ සිවිල් නඩුවලට අගතියක් සිදුවිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් අප ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගෙන් කළ විමසීමකදී ඔහුද ඒ බව සනාථ කළා.
මේ අතර මහ බැංකු බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛණය පිළිබඳවද පසුගිය සති කිහිපයේ යොමුවූයේ දැඩි අවධානයක්.
මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු අදාළ ලේඛනයේ ඇත්දැයි අදහස් පළවීම ඊට හේතුවයි.
නීතිපති ජයන්ත ජයසූරියද එම සී 350 ලේඛනය ප්‍රසිද්ධීයට පත් කිරීමෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ විමර්ශනයට අගතියක් සිදු නොවන බවට ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කර ඇති බව මීට පෙර වාර්තාවුණා.
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් පිළිබඳව තවමත් දේශපාලන වේදිකාවේ පවතින්නේ උණුසුම් කථාබහක්.
පසුගිය දිනවල බොහෝ පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී තමන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බව කියා සිටියා.
එසේම දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා මිලියනයක චෙක් පතක් මැතිවරණ සමයේ තමන්ට ලබාදුන් බව පාර්ලිමේන්තුවේදී පිළිගත් අතර, සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මිලියන 3 ක මුදලක් ලබාගත් බව අධිකරණයට ඉදිරිපත්වූ වාර්තාවක් මගින් අනාවරණ වුණා.
එමෙන්ම අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ මැතිවරණ සමයේ තමන්ටද රුපියල් ලක්ෂයක මුදලක් අර්ජුන් ඇලෝසියස් විසින් ලබාදුන් බවයි.
තවත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන ඇති බවට තවමත් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිනවා.