Gossips

වෙඩි හුවමාරුවෙන් මියගිය කොස්තාපල් සිහිකර මාතර වෙළඳසැල් වැසේ

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියයාම පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විවේචනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
සිය ට්විටර් ගිණුමට නිකුත් කළ පණිවුඩයක් මගින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු කුරිරු ලෙස ඝාතනයට ලක්වීම ඊට සමාන අන්දමින් පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු ඝාතනයට ලක්වීම මගින් සාධාරණීකරණය කළ නොහැකි බවයි.
මෙය යහපාලනය මිස යම පාලනය නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම පුද්ගලයන් අතුරුදන්වීම පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය අදහස් පළ කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මියයන අවස්ථාවන් පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
මේ ආකාරයෙන් පුද්ගලයන්, නඩු භාණ්ඩ පෙන්වීමට යාම සහ අනතුරුව වෙඩි පහරට ලක්වීමේ සිද්ධීන් විටින් විට අසන්නට ලැබෙන බවද ඔහු සඳහන් කළා.
කිසිදු හේතුවක් නිසා අත්තනෝමතික ඝාතනවලට ඉඩ නොතැබිය යුතු බවයි අතුරුදන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙන්වා දෙන්නේ.
මේ අතර මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.
ඔහු සිහිකර මාතර නගරයේ වෙළඳසැල් අද පස්වරු 2.30 සිට පැය දෙකක කාලයක් වසා දැමීමට නියමිතව ඇති බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු අධීෂ ආරියතිලක ප්‍රකාශ කළා.