Gossips

දිවියෙකු ඝාතනය ගැන ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලයි

කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (22) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගැනීමට බලධාරින් කටයුතු කළ යුතු බවයි.
කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වූයේ ඊයේ දිනයේදීයි.
දිවියාගේ පහරදීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබුණා.
මෙම සිද්ධීන් හේතුවෙන් දිවියා ඝාතනය කළ බවයි අම්බාල්කුලම් ප්‍රදේශවාසීන් පවසා තිබුණේ.
කෙසේ වෙතත්, වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.
දිවියා කොටුකර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතරතුර මෙම දිවියා ඝාතනය කර ඇති බවට ද චෝදනා එල්ල වුණා.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ දිවියා කොටුකර ගැනීමට අවශ්‍ය ආම්පන්න ගෙන ඒමකින් තොරව වනජිවි නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇති බවයි.
මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කියා සිටියා.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමුවුණා.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් දිවියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර, හිටපු වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, කතානායක කරූ ජයසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද ඊට මැදිහත් වුණා.
එහිදී ලක්ෂ්මන් කිරි ඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.