Gossips

චීවරය ඉවත් කළත්, භික්ෂූත්වය අහිමි නොවන බව බොදුබල සේනාව කියයි

චීවරය ඉවත් කළද විනය පිටකයට අනුව භික්ෂුවකගේ භික්ෂූත්වය අහිමි නොවන බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ත්‍රිපිඨාකාචාර්ය පූජ්‍ය තල්ගමුවේ සූධීරානන්ද හිමියන් මේ බව සඳහන් කළා.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් කිහිපදෙනෙකු කොටුව – බෝධිය ඉදිරිපිටදී ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා.
එහිදී සංඝාධිකරණයක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් පෙත්සමකට අත්සන් ගැනීමද අද සිදු කෙරුණා.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ සහ සිංහල රාවය සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.
මේ අතර කොළොන්නාව ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකට සහභාගි වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.
එහිදී අගරදගුරු හිමිපාණන් කියා සිටියේ ආගමික නායකයින් ජනතාවට ආදර්ශයක් වන ආකාරයෙන් හැසිරිය යුතු බවයි.