Gossips

ජාතික පාසල් විදුහල්පතිවරුන්ට කොන්දේසියක්

ජාතික පාසල් විදුහල්පතිවරයෙකුට මින් ඉදිරියට එකම පාසලක සේවය කළ හැක්කේ වසර 08 ක කාලයක් පමණක් බවට අධ්‍යාපන සේවා කමිටුව තීරණය කර තිබෙනවා.
මීට පෙර එම කාලසීමාව පැවතියේ වසර 10 ක් ලෙසයි.
මීට අමතරව අධ්‍යාපන පරිපාලන සේවයේ සෙසු සියලු නිලධාරීන්ට එක් ස්ථානයක සේවය කළ හැක්කේ වසර 06 ක් බවට වන ප්‍රතිපත්තියද ලබන සතියේ අනුමත කිරීමට නියමිත බව අධ්‍යාපන සේවා කමිටුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
ඔවුන්ගේ සේවා කාලය පිළිබඳව මෙතෙක් පැහැදිළි ප්‍රතිපත්තියක් සැකසී නොමැති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර අධ්‍යාපන පරිපාලන සේවය නියෝජනය කරන තෝරා ගත් විදුහල්පතිවරුන්ට පමණක් නොව අධ්‍යාපන සේවයේ එම ශ්‍රේණියේ සියලූම නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම් ලබාදිය යුතු බව ගුරු සංගම් පසුගියදා පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන්ද අධ්‍යාපන සේවා කමිටුව සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.
පාසල් 250 කට අධික සංඛ්‍යාවක විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා නුදුරු දිනකදී අයදුම්පත් කැඳවෙන අතර, ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන සේවා කමිටුවේ උසස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
දැනට ස්ථාන මාරුවීම් ලබාදී ඇති විදුහල්පතිවරුන්ට ද ඊට අයදුම් කළ හැකියි.