Gossips

ඥානසාර හිමියන් ගැන කතා කරන්න, බුද්ධ ශාසන ඇමති අද ජනපති හමුවට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (19) දිනයේදී තමන් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, තමන් නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනය අද (19) හෝමාගම මහාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.
පසුගිය 15 වන දා උන්වහන්සේගේ නීතිඥවරුන් විසින් මෙම පෙත්සම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන්නේ හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහායි.
අද සලකා බැලෙන අභියාචනාධිකරණ පෙත්සමෙන් උන්වහන්සේට ඇප ලැබෙනු ඇති බවට දැඩි විශ්වාසයකින් පසුවන බවයි සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ කළේ.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව ඊයේ (18) දිනයේ ද ප්‍රදේශ කිහිපයකම භික්ෂුන් වහන්සේ විරෝධතාවල නිරත වුණා.
රුහුණුරට භික්ෂු සංවිධානය සහ හම්බන්තොට දිස්ත්‍රික් විහාරාධිපතිවරුන්ගේ සංගමය ඊයේ මිද්දෙනිය නගරයේ සත්‍යග්‍රහයක නිරත වුණේ ඊට එරෙහිවයි.
එමෙන්ම ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට භික්ෂූන් වහන්සේ පිරිසක් ඊයේ සත්‍යග්‍රහයක් ද ආරම්භ කළා.