Gossips

වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට, රතු නිවේදනයක්

වර්ජනයත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් අද (19) දින සියලු සේවකයින් සේවයට වාර්තා කළ යුතු අතර, එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා.
ඒ අනුව සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථීර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබදව තවදුරටත් පරිපාලනය විසින් වග කියනු නොලබන බවටයි තැපැල්පතිවරයා සඳහන් කළේ.
එමෙන්ම, සියලු තැපැල් කාර්යාල විවෘත කර රාජකාරී කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරී සතු වන බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.
ඒ සඳහා අවශ්‍ය නම් අදාළ ප්‍රදේශයේ පොලීසියේ සහය ද ලබා ගත හැකි අතර, ඒ පිළිබදව පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවයි තැපැල්පති රෝහණ අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කෙසේ වෙතත්, 9 වන දිනටත් අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියා.
රට පුරා ලිපි හෝ පාර්සල් බෙදා හැරීම මේ වන විට සිදුකර නොමැති අතර, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් ස්ථානවල ලක්ෂ 5කට අධික ලිපි සහ පාර්සල් ගොඩ ගැසී තිබෙනවා.
මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ වැඩ වර්ජනය හමුවේ ලිපි බෙදාහරින පෞද්ගලික කුරියර් සේවා ආයතනවල දෛනික ආදායම ද මේ දිනවල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.