බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමට සිංහල රාවය සංවිධානය සහ බොදුබල සේනා සංවිධානය අද මහනායක හිමිවරුන් හමුවුණා.
එම සංවිධානවල හිමිවරුන් රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදුටුවා.
මෙහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිළි කළ බවයි සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ කළේ.
එමෙන්ම තම සංඝ සභාවේ අවසරයකින් තොරව ඊට අයත් භික්ෂුවක් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව සඳහන් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරලට ලිපියක් ද යොමු කර තිබුණා.
මේ අතර බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට උදරාබාධයක් වැළඳී ඇති බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනියගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඥාණසාර හිමියන් වෛද්‍ය පරික්ෂණයකට යොමු කළද එවැනි කිසිදු ආබාධයක් පිළිබඳව අනාවරණ නොවූ බවයි.