Gossips

ශ්‍රී ලංකා පිලට අභූත චෝදනා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ශාන්ත ලූසියා දිවයිනේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ ඇතිවූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා.
ඒ, දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව අසාමාන්‍ය ලෙස ඔප දැමීමෙන් එහි හැඩය වෙනස් වූයේ යැයි පවසා පන්දුව මාරු කිරීමට විනිසුරුවන් ගත් තීරණයක් හේතුවෙන්.
අලීම් ඩාර් සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවන් දෙදෙනා තවදුරටත් තීරණය කළේ ශ්‍රී ලංකා පිලට දඩුවම් වශයෙන් කොදෙව්වන්ට අමතර ලකුණු 5 ක්ද ලබාදීමටයි.
පන්දුවේ හැඩය වෙනස් කළ බවට එල්ලවන චෝදනා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර, ඊට විරෝධය පා ක්‍රීඩාගාරයේ රැඳී සිටීම හේතුවෙන් තරගය ආරම්භය පැය 2 කින් පමාවුණා.
අවසානයේ ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ, තරග තීරක ජවගල් ශ්‍රීනාත් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසුණා.
එහෙත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ කණ්ඩායම තවදුරටත් විරෝධය පළ කරමින් තරගයට සහභාගිවන බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය වෙනුවෙන් කණ්ඩායම තවදුරටත් කැපවී සිටින බවද එමඟින් අවධාරණය කළා.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව මුලදී ලබාගත් ලකුණු 253 ට පිළිතුරු ලෙස කොදෙව්වන් සිය මුල් ඉනිමේදී ලකුණු 300 කට දැවී ගියා.
එහිදී ඩෙවෝන් ස්මිත් ලකුණු 61 ක් ලබාගත් අතර, ෂේන් ඩෝවිච් ලකුණු 55 ක් රැස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර ලකුණු 86 කට කඩුලූ 4 ක් බිඳ හෙලූ අතර, සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් කසුන් රාජිත ලකුණු 49කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා.
සුරංග ලක්මාල් ලකුණු 50 ට කඩුලූ 2 යි. ඊයේ දිනය අවසනදී ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා.