Gossips

වැල්ලමඩම පරිශ්‍රය වහාම විවෘත කරන ලෙස අන්තරෙන් ඉල්ලීමක්

වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නේ නම්, එහි ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය මනුජ සී. වීරසිංහ ප්‍රකාශ කළා.
මේ අතර, දැනට තාවකාලිකව වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය වහාම විවෘත කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ දැනට ශිෂ්‍යයන් රැදී සිටින ප්‍රදේශවල ජල සහ විදුලි සැපයුම කපා හැරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළා.
රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පාලන අධිකාරි ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින සිසුන්ට ඉන් ඉවත් වන ලෙසට පසුගිය දා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ, සිසුවියන් සිව් දෙනෙකුට විනය පියවර ගැනීමට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියට අයත් ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළු වී එහි කටයුතුවලට බාධා කිරීම හේතුවෙන්.
මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය 8 වනදා රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමුණා.
කෙසේ වෙතත්, අදාළ පරිපාලන ගොඩනැගිල්ල තුළම රැදී සිටීමටයි රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කටයුතු කළේ.