Gossips

ඥානසාර හිමියන් ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක් – බොදුබල සේනාව සහ සිංහල රාවය පොල් ගසා දේව කන්නලව්වක

සිරදඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇත්තේ සිරකරුවන්ට නියමිත ඇදුම් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසනවා.
අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ උන්වහන්සේ අභියාචනා සිරකරුවෙකු වශයෙන් බන්ධනාගාරය තුළ රදවා සිටින බවයි.
කෙසේ වෙතත්, පැපිලියාන සුනේත්‍රා දේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ඥානසාර හිමියන්ගේ පැවිදි ජීවිතය අහිමි වීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
මේ අතර, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියා කලාපය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ඕමාර් වරයිච් ඥානසාර හිමියන්ට දඩුවම් නියම වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ සියලූදෙනාට මෙම තීන්දුව හරහා පැහැදිලි පණිවුඩයක් ලබාදී ඇති බවයි.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව බොදුබල සේනා සංවිධානය සහ සිංහල රාවය සංවිධානය අද සීනිගම දෙවොල් දේවාලයට ගොස් දේව කන්නලව්වක් සිදුකර පොල් ගසා යාතිකාවක නිරත වුණා.
මේ අතර, ඥානසාර හිමියන්ගේ සුවදුක් බැලීම සදහා බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ පිරිසක් අදත් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණිය ද ඥානසාර හිමියන් උන්වහන්සේ හමුවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඥානසාර හිමියන්ට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදීමට කටයුතු කළ බවයි එම සංවිධානයේ සහකාර සම්බන්ධීකාරක පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමියන් ප්‍රකාශ කළේ.