Gossips

සේවයට වාර්තා කරන්නැයි තැපැල්පති ඉල්ලයි

තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මණින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අබේරත්න වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කරන ගැටළු සාධාරණ බව තමන් සහ විෂයභාර අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාද පිළිගන්නා අතර, ඉදිරි මාසයක කාලසීමාව තුළ සෑම දෙනාටම පිළිගත හැකි සමස්ත විසඳුමකට යාමට කටයුතු කරන බවයි තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බඳවාගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උපතැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පසුගිය සඳුදා සිට වර්ජනයක නිරත වනවා.
මෙම වර්ජනය හේතුවෙන් ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට නොහැකි වුවහොත් එහි වගකීම තම දෙපාර්තමේන්තුවට පැවරෙන බවද තැපැල්පති රෝහණ අබේරත්න පෙන්වා දෙනවා.
එමෙන්ම එහි අහිතකර ප්‍රතිඵල කාර්ය මණ්ඩලයට භුක්ති විඳීමට සිදුවන බවයි ඔහු සිය නිවේදනයෙන් සදහන් කළේ.
ඒ අනුව සියලු වෘත්තිය ක්‍රියාමාර්ග අවසන් කර සාකච්ඡාමය විසඳුමකට පැමිණෙන ලෙසද තැපැල්පති රෝහණ අබේරත්න වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.