Gossips

නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ළඟාවේ – ප්‍රදේශ කිහිපයක වාහන ගැටළු

පළාත් පාලන ආයතන 340 කට සභිකයින් තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන මැතිවරණයට සියලූ කටයුතු සුදානම් කර අවසන් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කලා.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා හෙට මැතිවරණය නොපැවත්වෙන අතර අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා මධ්‍යස්ථාන 13,374 ක් තුල ඡන්ද විමසීම සිදු කෙරෙනවා.
සභිකයින් 8,325 ක් තෝරා ගන්නා මැතිවරණයට දේශපාලන පක්ෂ 43 කින් සහ ස්වාධීන කණ්ඩායම් 222 කින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 57,095 ක්.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි 57 ලක්ෂ 8,066 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර, වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේයී.
එම සංඛ්‍යාව 17 ලක්ෂ 24,309 ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 16 ලක්ෂ 52,389 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අද උදෑසන සිදුවූ අතර, එම කටයුතු මේ වනවිට සිදු කර අවසන්.
මැතිවරණයට ඇති සූදානම පිළිබඳව අප දිස්ත්‍රික් තේරීම් නිලධාරීවරුන්ගෙන් සහ හිරු වාර්තාකරුවන්ගෙන් විමසීමක් කළ අතර, කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් කන්නන්ගර කියා සිටියේ ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු සාමකාමීව සිදුවූ බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීම සිදුකළ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන පීඨයෙන් ඡන්ද පෙට්ටි බෙදාහැරීම අද උදෑසන පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වුණා.
නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රමාද වී ලබාදීම ඊට හේතුවයි.
බොහෝ ඡන්ද මධ්‍යස්ථාන වෙත මේ වනවිට ඡන්ද පෙට්ටි රැගෙන නිලධාරීන් පැමිණ ඇති නමුත්, ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත තවමත් මැතිවරණයට අදාළ ලිපි ලේඛණ ලැබී නොමැති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු ටී.කේ.ජී.කපිල කියා සිටියේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීම සිදුකළ ගන්නෝරුව රාජකීය විද්‍යාලයෙන්ද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමද ප්‍රමාද වූයේ රාජ්‍ය සේවකයින් සඳහා පත්වීම් ලිපි ලබාදීම ප්‍රමාදවීම සහ උදෑසන ආහාරය ලබාදීමේදී සිදුවූ ප්‍රමාදය හේතුවෙන්.
කෙසේ වෙතත්, මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කර තිබෙනවා.
ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමට ප්‍රමාණවත් පරිදි කැබ්රථ ලබාදී නොතිබීම හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමද ප්‍රමාද වූ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.බී.ආර්.පුෂ්පකුමාර සඳහන් කළා.
කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 648 කදී හෙට ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී යූ.ඩී.සී.ජයලාල් කියා සිටියේ.
ගොඩබිමින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවද්දී, ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමද සිදුකෙරුණා.
පුත්තලම – කල්පිටිය – මොහොට්ටුවාරම දූපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදුවූයේ ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින්.
එසේම, බලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් පාතගංගොඩ ඡන්ද කොට්ඨාශයේ මාදු ගඟෙහි – මා දූව දුපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කිරීම යාත්‍රාවක් මගින් සිදුකෙරුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සාමකාමීව සිදුවූ බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්.වන්නිනායක සඳහන් කළේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කර අවසන් බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි කියා සිටියේ.
මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 524 කදී ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක සඳහන් කළේ.
උතුරු පළාතේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීම මේ වනවිට සිදුකර අවසන්.