Gossips

අද ඇරඹුණු සිංහරාජයේ අලි මෙහෙයුම, පැය කිහිපයකින් නවතී

සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුමට එක්ව සිටින ගුවන් හමුදා පශු වෛද්‍යවරුන් දෙදෙනා යළි කැඳවීම නිසා එම මෙහෙයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා.
තිරසර සංවර්ධන, වනජීවි හා පරිසර සංවර්ධන අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් ඔවුන්ව මෙලෙස කැඳවා ඇති බවයි.
මෙම වන අලි මෙහෙයුම අද උදෑසන ආරම්භ වුණේ අලි දෙදෙනා රැඳී සිටින රක්වාන – මානික්කවත්ත ප්‍රදේශයෙන්.
මෙම අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට වනජීවි දෙපාර්තමේන්තුව සූදානම් වන බවට පෙරේදා දිනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය කරුණු අනාවරණය කළා.
ජනාධිපතිවරයා ඊයේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේ විධිමත් ක්‍රමවේදයක් සකස් කර තීරණයක් ගන්නා තුරු මෙම අලි දෙදෙනා තවදුරටත් සිංහරාජ රක්ෂිතයේ රඳවා තබන ලෙසයි.
යුනෙස්කෝ සංවිධානයද ලෝක උරුම සිංහරාජයෙන් මෙම වන අලි දෙදෙනා ඉවත් කිරීමට විරෝධය පළ කර ලිපියක් වනජීවි අමාත්‍යාංශය වෙත යොමුකර තිබුණා.
ඊයේ පරිසර අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ජෛව වැදගත්කමකින් යුත් සිංහරාජ වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ වගකීම පෙන්වා දෙමින් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ අලි දෙදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම සඳහා ඒ ආශ්‍රිතව ඉදිවන අලි වැටේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසයි.
කෙසේ නමුත්, වන අලි පහරදීමකින් හානි වූ නිවසක් පරීක්ෂා කිරීම සඳහා වනජීවි අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පෙරවරුවේ ගල්ගමුව – ගොජරාගම ප්‍රදේශයට පැමිණි අතර, ඔහු එහිදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ මෙම ගැටළුව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ තමන් සාකච්ඡා කළ බවයි.
අලි දෙදෙනා අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට මුදාහැරීමට ජනාධිපතිවරයා තමන්ට අනුමැතිය ලබාදුන් බව එහිදී ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා අද පස්වරුවේ ගල්ගමුව – වැටකොළුවාගම ප්‍රදේශයේ වන අලින් විසින් හානි කරන ලද වගාවන් පරීක්ෂා කිරීමට පැමිණියා.
එහිදී ඔහු යළි මාධ්‍ය වෙත අදහස් පළ කළ අතර, උදෑසන ආරම්භ වූ මෙහෙයුමට එක්ව සිටින ගුවන් හමුදා පශු වෛද්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයා විසින් කැදවීම හේතුවෙන් මෙහෙයුම අත්හිටවූ බව ප්‍රකාශ කළා.
මෙහෙයුමට එක්වූ ගුවන් හමුදා නිලධාරීන් කැදවීම සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසා සිටියා.
ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි මේ.
‘‘අලි කියන සතා විශේෂ සතෙක්. ඒ සතාව නිර්වින්දනය කරලා අරගෙන යෑම පිළිබඳ මනා පළපුරුද්දක් තියෙන කෙනෙක් යන්න ඕනේ. ගුවන් හමුදාව වගේ ගත්තොත් ඒක හොඳ මෙහෙයුම් කණ්ඩායමක් ඒ අයට අලි ඇල්ලීම ගැන පළපුරුද්ද මොකක්ද කියලා පරිසරවේදීන් ප්‍රශ්න කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ’’