Gossips

ඥාණසාර හිමිට, පොදු සමාවක් අපේක්ෂාවෙන්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සිංහල රාවය සංවිධානය ඉල්ලීමක් කරනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියා.
මේ අතර, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දමා තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් එම අධිකරණයටම ඉදිරිපත් කර තිබෙනවා.
තමන්ට එරෙහිව තීන්දුව ලබාදී ඇත්තේ දෙපාර්ශවයේම කරුණු විශ්ලේෂණය කිරීමකින් තොරව බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයෙන් දක්වා ඇත්තේ.
එම අභියාචනය කොළඹ මහාධිකරණයට යොමුකෙරෙනු ඇති.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.
ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්.
නඩු විභාගයෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග තීන්දු කළේ සාපරාධී අඩන්තෙට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවයි.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වුව ද අභියාචනයක් සිදුකර ඇති බැවින් උන්වහන්සේට බරපතල වැඩ ලබාදීමට කටයුතු නොකරන බව සඳහන්.
ඥානසාර හිමියන් ඊයේ දිනයේ වෛද්‍ය පරීක්ෂණයකට ද යොමුකර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.