Gossips

කටුස්සන් කටුනායක දී අත්අඩංගුවට

කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුව වෙත ගෙනැවිත් , එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් 6/13 දින රාත්‍රී 11.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ , එම භාණ්ඩ ප්‍රවාහනය කරන ජාත්‍යන්තර සමාගමක කාර්යාලය වෙත එවා තිබෙනවා .
භාවිතා කළ පරිගණකයක් සේ හදුන්වමින් කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට එවා තිබූ මෙම ගුවන් භාණ්ඩ පාර්සලය භාර ගැනීමට අදාළ පුද්ගලයාට දැන්වූවද , ඔහු නොපැමිණීම නිසා , මෙම පුද්ගලයා සහ ලිපිනය පිළිබඳව සොයා බැලූ රේගු නිලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසුව , මෙම පාර්සලය , එම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් ඉදිරිපිට දී විවෘත කර පරීක්ෂා කර බලත්දී මෙම සතුන් 32 ක් , එම පරිගණකය තුළ වූ කුඩා රෙදි මලු 05 ක දමා සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
මෙම සත්ව විශේෂය බටහිර රටවල සුරතලයට ඇති කරන බව ප්‍රකාශ වුවද , මෙම සතුන්ගේ ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී ද , ඔවුන් අනවශ්‍ය ප්‍රමාණයෙන් බෝවීම සිදු වන්නන් ද , මොවුන් පරපෝෂිතයන් විශේෂයක් ද , අප රටේ කෘෂි බෝග වගාවන්ට හානිකර සත්ව විශේෂයක් ද ,
රෝග කාරක පතුරුවන විෂ සහිත සත්ව විශේෂයක් ද යන්න රේගු නිලධාරීන් තවමත් අනාවරණය කර ගෙන නැහැ.
මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ දී , එරට සත්ව නීරෝධායන ආයතනවලින් සහතික කිරීම් අත්‍යාවශ්‍ය වන අතර , මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායන ආයතනවල නිර්දේශ ද මොවුන් රට තුළට නිදහස් කිරීමේ දී අවශ්‍ය වනවා.
මෙම සිදු වීම ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීමක් බව රේගු නිලධාරීන් සදහන් කරනවා.
මෙම සතුන් පිළිබඳව දෙහිවල සත්ව උද්‍යානයයේ නිලධාරීන් මෙන්ම , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නීරෝධායන අංශයේ නිලධාරීන් සමග සහ ශ්‍රී ලංකා රේගුවේ වන සත්ව ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන අතර අද 15 දින මෙම සතුන් යළිත් ඕස්ට්‍රේලියාව බලා ආපසු යැවීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.