Gossips

ඥාණසාර හිමියන් වැලිකඩට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ (14) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ නියම වූයේ මාස 06 කින් ගෙවී යන වසරක බරපතල වැඩසහිත සිරදඬුවමක්.
හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් නියෝග කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි.
එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද බරපතල සිරදඩුවම් නියම වූ අනෙකුත් සිරකරුවන්ට බලපවත්වන රෙගුලාසි වලට යටත් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය කියා සිටියා.
හිමියන්ට අනෙකුත් සිරකරුවන්ගේ ඇදුම ඇදීමට සිදුවන බවත්, විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ලබාදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් බැලීමට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ සන්ධ්‍යාවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර, ඔවුන්ට ඒ සදහා අවස්ථාවක් හිමිවී නැහැ.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.
ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්.
නඩු විභාගයෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග තීන්දු කළේ සාපරාධී අඩන්තෙට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවයි.

rnrnrn