Gossips

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩසහිත මාස 6 ක සිර දඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් අද නියම කෙරුණා.
හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් සඳහන් කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි.
එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.
ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්.
නඩු විභාගයෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග තීන්දු කළේ සාපරාධී අඩන්තෙට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවයි.
පසුගිය 24 වැනිදා උන්වහන්සේගේ පෙර වැරදි පරීක්ෂාවක් සිදුකිරීම සඳහා ඇඟලි සලකුණු ලබාගන්නා ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අද දිනයේදී අදාළ වැරදිවලට දඬුවම් නියමත කරන බවයි.
දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් සඳහන් කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවීයන පරිදි බරපතල වැඩසහිත වසරක සිරදඬුවම් පමුණුවන බවයි.
ඊට අමතරව රුපියල් 3000 ක දඩයක්ද නියම කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අගතියට පත් සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි. වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එයද නොගෙවන්නේ නම් මාස 03 ක ලිහිල් සිරදඬුවමකට යටත් කරන බව සඳහන් කළා.
තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ විත්ති කූඩුවේ සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තමන්ට ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව සඳහන් කරමින්
‘‘මම කරපු වැරැද්ද මොකක්ද, දඬුවම් දෙන්න. අධිකරණය විතරද පැවතිය යුත්තේ’’ යැයි පවසමින් ප්‍රකාශය සිදුකිරීම ආරම්භ කළා.
එහෙත් ඊට බාධා කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එවන් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ලබාදිය නොහැකි බවයි. අවශ්‍ය නම් තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ගොනුකළ හැකි බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල මාකුඹුර තීන්දුවෙන් අනතුරුව කියා සිටියේ ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනුකරන බවයි.
තීන්දුව ලබාදීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර බස් රථයට රැගෙන යන අවස්ථාවේදී ඒ අවට සිටි බොදුබල සේනා සංවිධානයේ සාමාජික භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සඡ්ඣායනා කළ අතර, පසුව විරෝධය ද පළ කළා.
අනතුරුව හෝමාගම සතිපොල අසල පිහිටි බෝධීන් වහන්සේ අසලට භික්ෂූණ් වහන්සේලා පාගමනින් වැඩම කිරීමෙන් අනතුරුව උන්වහන්සේලා සත්‍ය ක්‍රියාවක ද නිරත වුණා.