Gossips

හිටපු අගවිනිසුරුගේ පෙත්සම ඉවතට

පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා සහ බුවනෙක අලූවිහාරේ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වන දායි.
මෙම පනත ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි එහි තවදුරටත් දැක්වුණේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා, නීතිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නම් කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි.