Gossips

මස්තාන්ගේ නියෝජ්‍ය ඇමති ධුරය වෙනස් වන ලකුණු ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්ට ඊයේ (12) ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරය සංශෝධනය කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
ඒ, ඔහුට ලබාදුන් නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පාර්ශව කිහිපයකින් එල්ල වූ විරෝධය හේතුවෙන්.
අප කළ විමසීමකදී අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.
ඒ අනුව පවතින විරෝධතාවයන් සලකා බලා සාධනීය වෙනසක් සිදුවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
මෙම නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදිය යුත්තේ ඒ සඳහා වඩාත් සුදුසු පුද්ගලයෙකුට බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කළේ.
කාදර් කාදර් මස්තාන් මන්ත්‍රීවරයාට නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම පිළිබදව ඊයේ පැවති උතුරු පළාත් සභා රැස්වීමේදී ද අවදානය යොමු වුණා.
පළාත් සභා රැස්වීම අමතමින් මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ කාදර් මස්තාන් මන්ත්‍රීවරයාට මෙම නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම නිවැරදි නොවන බවයි.
මීට අමතරව ටෙලෝ සංවිධානයේ මහලේකම් පී. උදයරාසා ද මෙම නියෝජ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණා.
ඔහු සඳහන් කළේ මස්තාන් මන්ත්‍රීවරයාගේ පසුබිම අනුව ඔහුට එවැනි අමාත්‍ය ධුරයක් ලබාදීම පිළිබදව එකඟ නොවන බවයි.
ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් ද මෙම පත් කිරීමට විරෝධය පළ කළා.
කෙසේ වෙතත්, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම් දුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් කියා සිටියේ තමාට ඡන්දය ලබාදුන් පිරිස් අතර හින්දු ජනතාව ද සිටින බවයි.
නියෝජ්‍ය අමාත්‍ය ධුරය එම ජනතාවට සේවය කිරීම සඳහා ලද අවස්ථාවක් ලෙස සලකන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.