Gossips

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රක්ෂිත බන්ධනාගාරයට

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (13) නියෝග කර තිබෙනවා.
ඔහු ඊයේ (12) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
වත්තල – එඬේරමුල්ල ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 9 වනදා රාත්‍රි 7.30 ට පමණයි.
පහරකෑමට ලක්ව ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 33 හැවිරිදි වසන්ත ලියනගේ නැමැත්තෙක්.
සාදයකට සහභාගිවීම සඳහා යමින් සිටි අතරතුරදී ඔහු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එඬේරමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ සුපිරි වෙළඳසැලට ගොස් තිබෙනවා.
එහිදී ඔහුට මාධ්‍යවේදී මහේෂ් නිස්සංක, දරු දෙදෙනා සහ ඔහුගේ බිරිඳ හමුවී ඇති අතර, පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරුව රථ ගාල තුළදී එය ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇති අතර, එම අවස්ථාවේදී තියුණු ආයුධයකින් අදාළ පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර කළක පටන් පවතින පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී තිබෙනවා.
පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පහරකෑමට ලක්වූ වසන්ත ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.
‘‘මහේෂ් කියන පුද්ගලයා රූපවාහිනී සංස්ථාවේ වැඩකරන මගේ නමට හරි නැති ගොඩක් දේවල් පතුරුවලා තියෙනවා. ගෙවල් පැත්තේ. ඒ වෙලාවේ කැත වැඩ කරන්න එපාල පිරිමියෙක් වගේ වැඩකරනවා කියලා මම කිව්වා. කියලා මම යන්න යනකොට කාර් එකට තට්ටු කරලා පුතාලා දෙන්න, මොනවද කිව්වේ අනං මනං කියලා මට එක පාරක් ගැහුවා. මට දැන් මුකුත් කරගන්න විදිහක් නැහැ. ඒ ගොල්ලෝ ගහනවා. මම කොහොම හරි ඒ එක්කෙනෙක්ව අල්ලගෙන බිමට වැටුණා තල්ලු කරගෙන ගිහිල්ලා. බිමට වැටිච්ච වෙලාවේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ යාළුවෙක් බේරන්න ඇවිල්ලා තියෙනවා. එයාවත් තල්ලු කරලා එයාටත් ගහලා මේ මනුස්සයා ඇවිල්ලා මගේ පිටට කිනිස්සකින් ඇනලා.
ප්‍රශ්නය – කවුද ඇන්නේ?
– ඒ මහේෂ් කියන පුද්ගලයාග මට නිකන් පණ නැතුව වගේ ගියාග ඇවිල්ලා බලද්දී මෙයා පිහිය අරගෙන අනිත් අයටත් අනින්න කෑගගහා හිටියාග යාළුවො මාව ඇදගෙන ගිහින් වාහනයට දැම්මාග රෝහල් ගත කළා. මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ දවස් දෙකක් ඉඳලා තමයි වාට්ටුවට දාලා තියෙන්නේ’’
ඔහුගේ මවද සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසක්.
‘‘ ඔය මාධ්‍යවේදියා මහේෂ් නිශ්ශංක හැංගිලා හිටියා. පොලිසිය හොයන්න යනකොට නැහැ කියලා. කඩවත පොලිසිය පැමිණිල්ල ලියන වෙලාවෙත් අර මාධ්‍යවේදියාගේ පැත්ත ගත්තා මිසක් තුවාල වෙලා අසාධ්‍යයෙන් ඉස්පිරිතාලේ ඉන්න මගේ දරුවාගේ පැත්ත ගත්තේ නැහැ. සාක්ෂිකාරයෝ දෙන්නට කිව්වා දානවා කූඩුවට බොරු කියන්න එපා. පිහි ඇණුමක් නෙමෙයි ඇනිලා තියෙන්නෙ. ගලක් ඇනිලා තියෙන්නේ. පොරබදද්දී අපට ඉස්පිරිතාලෙනුත් කිව්වා කියලා බොරුත් කිව්වා. සෙනසුරාදා මගේ ළමයට රෑ 7.30 ට පිහියෙන් ඇනපු එක ඔය මාධ්‍යවේදියා ඔය මහේෂ් ඉරිදා සජීවි වැඩසටහනක් කරනවා. එතකොට එයාල අත්අඩංගුවට අරගෙන තිබුණේ නැහැ. දැන් අද මම ගියා පෑලියගොඩට, නියෝජ්‍ය පොලිස්පතිතුමා හමුවෙන්න. ඒවෙලාවේ මම ඉන්න තැනදීම නියෝජ්‍ය පොලිස්පතිතුමා කඩවත පොලිසියට කතා කරලා මේ පිහි ඇණුමේ කේස් එක කෝ මේ මාධ්‍යවේදියා නිශ්ශංක එයාව අත්අඩංගුවට ගන්න කියලා.’’
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහේෂ් නිස්සංකගේ ඉල්ලීම පරිදි බව පවසමින් ඔහුගේ මිතුරෙකු ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ එය මහේෂ් නිස්සංකගේ ෆේස්බුක් පිටුවේද හුවමාරුවන අයුරින්.
එහි සඳහන් කර ඇත්තේ මහේෂ් නිස්සංකගේ දරුවා බලහත්කාරයෙන් පැහැරගැනීමට උත්සාහ කළ නාඳුනන පිරිසක් අතර සිටි පුද්ගලයෙකුට මෝටර් රථයේ තිබූ ඉස්කුරුප්පු නියනකින් ඔහු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
කෙසේ වෙතත් අවස්ථා දෙකකදී මේ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා පොලීසිය ඔහුගේ නිවසට ගොස් ඇති අතර, නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ රජයේ රූපවාහිනී ආයතනයක සේවය කරන ඔහු වැඩසටහනකට සහභාගිවී ඇති නිසා නිවසේ නොමැති බවයි.
කෙසේ වෙතත් ඊයේ (12) නීතීඥවරයෙකු මාර්ගයෙන් ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සමඟ කඩවත පොලීසියට භාරවී ඇති අතර, අනතුරුවයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් බාල පුත්‍රයා රුපියල් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ පහරකෑමට ලක්වූ පුද්ගලයාට එරෙහිව මාධ්‍යවේදී මහේෂ් නිස්සංක පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව කඩවත පොලීසිය සඳහන් කළා.