Gossips

පැෆ්රල් කථානායකට ලියයි

සීමානිර්ණ වාර්තාව සම්මත කර ජනතාවට තම පළාත් සභා නියෝජිතයින් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසට පැෆ්රල් සංවිධානය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමු කරමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දී ඇත්තේ සීමානිර්ණ වාර්තාව මසක් ඇතුළත සම්මත කිරීමට පාර්ලිමේන්තුව අසමත් වූ බවයි.
පසුව අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීම හරහා ඊට අදාළ සීමා නිර්ණය නැවත විමර්ශනය කර සම්මත කිරීමද සිදුව නොමැති බවයි ඔහු කථානායකවරයාගේ අවධානයට ලක් කර ඇත්තේ.
ඒ අනුව මෙම වාර්තාව සම්මත කරගැනීමට නිසි පියවර ගන්නා ලෙස රෝහණ හෙට්ටිආරච්චි කථානායකවරයා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය කොට්ඨාශය පළාත් සභා සීමා නිර්ණයේදී කොටස් දෙකකට වෙන් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් පූජාපිටිය ප්‍රාදේශීය සභාව ඊයේ ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත්තා.
පූජාපිටිය කොට්ඨාශයේ එක් කොටසක් හතරලියද්ද කොට්ඨාශයටත්, සෙසු කොටස අකුරණ කොට්ඨාශයටත් එක් කිරීමට ගෙන ඇති තීරණයට විරුද්ධවයි මෙම යෝජනාව සම්මත කරගෙන ඇත්තේ.