Gossips

විදුලි ඉංජිනේරුවන්ගෙන් යළි රතු එළියක් – තැපැල් සේවකයනුත් අද සිට අඛණ්ඩ වර්ජනයක

සිය ඉල්ලීම් සඳහා ස්ථීර විසඳුමක් අද (11) දිනයේදී නොලැබුණහොත් යළිත් විදුලි හදිසි බිඳවැටීම් සහ අලුත්වැඩියා කටයුතු වලින් පස්වරුවේ සිට ඉවත් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
ඔවුන් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ ඉදිරි වසර 20 සඳහා විදුලි බලාගාර ඉදිකිරීමේ අඩු වියදම් විදුලිජනන සැලැස්මට මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා නොදීමට හේතුවෙන්.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවත් පියවරක් ලෙස පසුගිය බදාදා සිට පස්වරු 4න් පසු හදිසි විදුලිය බිඳවැටීම් සහ අලුත්වැඩියා කටයුතු වලින් ද මොවුන් ඉවත් වුණා.
කෙසේ වෙතත් අදාළ විදුලි සැලැස්මට මහජන උපයෝගීතා කොමිසම අද අනුමත කිරීමට පොරොන්දු ලබාදීම හේතුවෙන් ඔවුන් පසුගිය බදාදා ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හරිනු ලැබුවා.
පොරොන්දු වූ පරිදි අද දිනයේදී විදුලිජනන සැලැස්ම සඳහා අනුමැතිය ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය යළිත් දැඩි කරන බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කළේ.
මේ අතර බඳවාගැනීම් පටිපාටිය සහ අත්තනෝමතික ආකාරයට උප තැපැල් ස්ථානාධිපති තනතුරට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නතර කරන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් අද (11) පස්වරු හතරේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.