Gossips

මාධ්‍යයට සහ පොලීසියට චෝදනා කරන, රංගේ බණ්ඩාරගේ ගැටුම් කතාවත් බොරුවක්

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර අධික බීමතින් සිදුකළ රිය අනතුරෙන් පසුව එම ස්ථානයේ කිසිදු ගැටුමක් ඇති නොවූ බව අනතුරට ලක්වූ නිවසේ හිමිකරු පවසනවා.
මාධ්‍ය මඟහැර සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර රිය අනතුරෙන් පසු ඊයේ (09) ප්‍රථම වරට පුත්තලම – ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ අනතුරෙන් පසුව කිසියම් පිරිසක් පැමිණ එහි සිටි පිරිසට පහර දී කඩුව සහ මුගුර කැබ් රථයේ දමා ගොස් ඇති බවයි.
අද (10) රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර රිය අනතුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී යළිත් ඔහු සදහන් කළේ අනතුරෙන් පසු ගැටුමක් ඇති වූ බවයි.
කෙසේ වෙතත්, අනතුරෙන් හානියට පත් වූ නිවෙස් හිමියා හිරු ප්‍රවෘත්ති අංශයට තහවුරු කළේ අනතුරෙන් පසුව කිසිදු ගැටුමක් සිදුනොවූ බවයි.
එමෙන්ම අද (10) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා පොලීසියට සහ මාධ්‍යයට ද චෝදනා එල්ල කර සිටියා.
මේ අතර, ජාතික නිදහස් පෙරමුණ අද (10) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.
එහිදී ඔහු කියා සිටියේ රංගේ බණ්ඩාර කට උත්තර වෙනස් කිරීමට දක්ෂයෙකු බවයි.
ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් අපට පාඩම් කියාදීමට තැත් කරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගෙන්, මෙම අනතුර සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයේ කරුණු දැනගැනීම සදහා අප අවස්ථා ගණනාවකදි උත්සහා දැරුවද ඒ සෑම අවස්ථාවකදීම ඔහු දැන හෝ නොදැන මාධ්‍ය මඟහැර සිටියා.
දුරකථන අංක 0773 502 200 අංකයෙන් අප ඔහු සම්බන්ධ කර ගැනිමට උත්සාහ දරු සෑම අවස්ථාවකදීම ඊට ප්‍රතිචාර දැක්වූ ආරක්ෂක නිළධාරින් කියා සිටියේ අමාත්‍යවරයා කාර්ය බහුල බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස ඇඟිල්ල දිගු කළත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අප සෑම විටම පුවත් වාර්තා කළේ පොලීසිය ලබාදුන් නිවැරදි තොරතුරු ලබා ගනිමින්.
කඩුව සහ අදාළ මුගුර අනතුරට ලක්වූ කැබ් රථයේ තිබී සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
එමෙන්ම, අනතුර සිදු වු පසු යම් කිසි කලහකාරි සිදුවීමක් වු බවට කිසිදු පැමිණිල්ලක් මේ වනතුරුත් ආරච්චිකට්ටුව පොලීසියට ලැබී නැහැ.
එසේ නම් රාජ්‍ය අමාත්‍යවරයා වාර්තාකරණය පිළිබද මාධ්‍යට ඇඟිල්ල දිගු කිරීමේ සැබෑ තත්ත්වය වටහා ගත හැකියි.
2018.06.06 වැනි දින අලුයම් කාලයේදී ආරච්චිකට්ටුව – කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් යශෝධ රංගේ බණ්ඩාර යන අය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙරේදා නිවේදනය කළා.
රජයේ දෙපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදු කිරිම යන චෝදනා තුන යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව ද එහි දැක්වුණා.
මාධ්‍යයට චෝදනා කිරීමට පෙර එම පුවත් හොඳින් අධ්‍යයනය කර අවබෝධය ලබා ගෙන එම චෝදනා එල්ල කරන ලෙසට වාර්තාකරණය ඉගැන්වීමට වෙර දරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට අප යළි සිහිපත් කරනවා.