Gossips

චීනය, හම්බන්තොට ගිවිසුමේ හිඟ වාරිකය ප්‍රමාද කරයි

හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 584 ක ඉතිරි වාරික මුදල ප්‍රමාද වීමේ තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.
ඒ, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එළඹි ගිවිසුමේ කොන්දේසි කිහිපයක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම හේතුවෙන්.
චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ හම්බන්තොට මාගම්පුර වරාය බදුදීමේ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ පසුගිය වසරේ ජූලි මස 29 වනදායි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති සහ වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක ඊට අත්සන් තැබූ අතර, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියැන්හුවා ගිවිසුමට අත්සන් තැබුවා.
මෙම ගිවිසුම මගින් වරායේ සියයට 70 ක හිමිකාරීත්වය 99 අවුරුදු බද්දකට චීන සමාගමට ලබාදුන් අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට එකඟ වූ මුදල ඩොලර් බිලියන 1.2 ක්.
මුළු මුදලින් කොටසක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 292.1 ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලබාදුන් අතර, ඩොලර් මිලියන 97.3 ක් මේ වසරේ ජනවාරි මාසයේදී ලබාදුන්නා. ඒ අනුව තවත් ඩොලර් මිලියන 584 ක් පෙරේදා දිනය වනවිට ලබාදීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් බදු ගිවිසුමට අදාළ කොන්දේසි කිහිපයක් ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් මේ වනතුරුත් සපුරා නොමැතිවීම හේතුවෙන් මේ වනතුරුත් අදාළ මුදල චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් ලබාදී නැහැ.
මේ පිළිබඳව අප වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අදාළ කොන්දේසි කඩිනමින් සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවයි.