Politics Sri Lanka

මෛත්‍රීගේ “අතේ” ලේකම් දූෂිතයන්ට අත දෙයි

මෛත්‍රීගේ “අතේ” ලේකම් දූෂිතයන්ට අත දෙයි

කෘෂිරක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතාව වහාම එම ධුරයේ කටයුතුවලින් ඉවත් කිරීමට කෝප් කමිටුව මගින්, උසස් නිලතල පිලිබඳ කාරක සභාව මගින් සහ කතානායකවරයාගේ නිර්දේශයක් මගින්ද නියෝග කර තිබියදී ඔහුව තවදුරටත් එම ධුරයේම තබා ගනිමින් උක්ත නියෝග කඩ කිරීමට කටයුතු කළ කෘෂිකර්ම අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ වනවිට ඔහුගේ ධුරය කාලය දීර්ඝ කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ ධුර කාලය අද (09) දිනෙන් අවසන් වන අතර අද සිට යලිත් වසරක කාලයක් සඳහා මෙසේ ඔහුව එම ධුරයේම තබාගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙන අතර එහි සේවකයන් තුළ මේ වනවිට ඊට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවිජන සංවර්ධන නිලධාරීන් යොදවා තෙවන පාර්ශව රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම කෘෂි රක්ෂණ මණ්ඩලයේ මූලික අරමුණ වන ගොවීන් රක්ෂණය කිරීම ඉක්මවා කටයුතු කිරීම සහ එහි සභාපති සිඩ්නි ගජනායක මහතා පුද්ගලික රක්ෂණ සමාගමක 20%ක කොටස් හිමිකාරිත්වය දැරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.

මීට අමතරව 2014 වසරේදී රුපියල් විසිදෙලක්ෂ අසූහතරදහස් අටසියයක (රු. 2,284,800) මුදලකට ලිත් ලක්ෂ පහක් (500,000) මුද්‍රණය කර ඇතත් 2015 පෙබරවාරි වනවිටත් එම ලිත්වලින් 50%ක පමණ ප්‍රමාණය බෙදා නොතිබීම. කළමනාකරණ අකාර්යක්ෂමතාවය නිසා කෘෂි රක්ෂණ මණ්ඩලයට පාඩු සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක්ද ඔහුට එල්ල වී තිබේ.

මේ සියළු දූෂිත කරුණු සලකා ඔහු සම්බන්ධයෙන් කෝප් කමිටුව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ කතා නායකවරයා පවා ලබා දී ඇති නිර්දේශ කුණු කූඩයට දමමින් කෘෂිරක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතාව තවදුරටත් එම ධුරයේ තබා ගැනීමට ඔහුගේ ධුර කාලය අද (09) සිට බලපැවැත්වෙන පරිදි තවත් කාලයකට දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙමින් තිබේ.