Gossips

පාතාල නායක මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

මහනුවර – මඩවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අද (09) දහවල් ජීවිතක්ෂයට පත්වුණා.
මෝටර් රථයක අපරාධකරුවෙකු ගමන් කරන බවට ලද තොරතුරකට අනුව, වත්තේගම පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේදී පස්වරු 12.15 ට පමණ ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීමේදී මෙම වෙඩි හුවමාරුව සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මෙහිදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ පාතාල සාමාජිකයින් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය දෙසට ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී එල්ල වූ ප්‍රතිප්‍රහාර හමුවේ ඔවුන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එසේම, ඔවුන් කටුගස්තොට රෝහල වෙත රැගෙන එනවිටත් මියගොස් සිටි බවයි එහි ප්‍රකාශිකාවක සදහන් කළේ.
මෙහිදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු පාතාල නායක මාකදුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට සිට මෙහෙය වූ ප්‍රබලයෙකු බවත්, ඔවුන්ගේ කප්පම් මුදල් එකතු කළ සමීපතමයෙකු බවත්, අනාවරණ වී තිබෙනවා.
30 හැවිරිදි රුමල්ස ඉරේෂ් මධුශංක නවගමුව නමැති ඔහු රණාල – අතුරුගිරිය සහ හෝමාගම ආදී ප්‍රදේශවල මෙලෙස කප්පම් එකතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
‘‘බයිලා’’ නමැති නාමයෙන් හැදින්වෙන මොහුට අයත් නිවාස දෙකක් පනාගොඩ සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවල පිහිටා තිබෙනවා.
එමෙන්ම, සැකකරුට එරෙහිව මිනීමැරුම්, කොල්ලකෑම් සහ මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම ආදී නඩු 15 ක් නුගේගොඩ ඇතුළු අධිකරණ කිහිපයකම දැනට විභාග වන බවද පොලීසිය සදහන් කළා.
සිද්ධියෙන් මියගිය සෙසු පාතාල සාමාජිකයා පොල්වත්තගේ උපාලි හෙවත් ජනා නමැති අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී පිස්තෝලයක් සහ රිවෝල්වරයක් ද පොලීසිය සොයා ගත්තා.