Gossips

වව්නියාවේ දරුවා පැහැර ගැනීමට අදාළව තවත් පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)

වව්නියාව ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් වීථියේ නිවසකින් මාස 8 ක කුඩා දරුවෙකු පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දරුවා පැහැර ගැනීමේ සිද්ධියයට අදාළව මීට පෙර පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය මැයි මස 31 වනදා මෙම පැහැර ගැනීම සිදුකර තිබුණේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙක්.
මෙම අවස්ථාවේ දරුවාගේ මව සහ මිත්තණිය නිදා සිට ඇති අතර, තමන් දරුවා පැහැර ගත් බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන දරුවාගේ පියා පොලීසියට ප්‍රකාශ කර තිබුණා.
දරුවාගේ පියා පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර තිබුණේ බිළිදාගේ මව විසින් දරුවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ දුරකථන මාර්ගයෙන් තමන්ට නොපෙන්වීම නිසා දරුවා පැහැර ගත් බවයි.
අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශණවලදී පැහැර ගත් මාස 8 ක බිළිදා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී සොයා ගැනුනා.
පුදුකුඩිඉරිප්පු පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී බිළිදා පොලිස් භාරයට ගත් බවයි.
දරුවාගේ මව පවසන පරිදි බිළිදා පැහැරගත් බවට සැකකෙරෙන පියා, මේ වන විට එංගලන්තයේ පදිංචිව සිටින්නේ වෙනත් කාන්තාවක් සමගයි.


ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය