ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් මාලදිවයිනේ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පැන නැගුණු තත්ත්වය තවදුරටත් අයහපත් ලෙස වර්ධනය විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් කළා.
ජනාධිපතිවරයා එම පියවර ගනු ලැබූයේ මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු සිය දේශපාලන ප්‍රතිවාදීන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.
ඉන් පසු මාලදිවයිනේ පැන නැගුණු තත්ත්වය නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ ප්‍රථම වරට සාකච්ඡා කෙරුණා.
එහිදී ආරක්ෂක මණ්ඩලය ඇමතූ ජගත් සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිරොස් ලාව් ජෙන්කා කියා සිටියේ මාලදිවයිනේ අද දැඩි උණුසුම්කාරි වාතාවරණයක් පැන නැගී ඇති බවයි.
එහි පනවා ඇති හදිසි නීතිය වහා ඉවත් කරන ලෙස ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද ජනාධිපති අමීන්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු කියා සිටියේ ජනාධිපති යමීන්ගේ ක්‍රියාමාර්ග ප්රජාතන්ත්රවාදය වෙත එල්ල වූ දැවැන්ත ප්‍රහාරයක් බවයි.