Gossips

ටොනේඩෝවකින්, නිවාස 60කට හානි

කුරුණෑගල – මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසකට අද (09) අලුයම බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 60කට පමණ හානි සිදුව තිබෙනවා.
වැවගෙදර ඇතුළු ග්‍රාම සේවා වසම් 07කට මෙම සුළං තත්වයෙන් බලපෑම් එල්ලවී ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස රැසකට විදුලි සැපයුමද අත්හිටුවා තිබෙනවා.
යුද හමුදාවේ ද සහය ලබාගෙන කඩාවැටුණු ගස් ඉවත් කිරීමට කටයුතු කරන බවයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ විරාජ් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ (08) රාත්‍රියේ හැමූ තද සුළඟකින් නිවාස පෙළකට හානි සිදුව තිබෙනවා.
බඩල්කුඹුර – තැන්නෙකුඹුර ප්‍රදේශයේ නිවාස 03කට මෙලෙස දැඩි සුළඟින් හානි සිදුව ඇති බව සඳහන්.
බිබිල ප්‍රදේශයේ ගම්මාන රැසකට ඊයේ රාත්‍රියේ සිට විදුලිය ඇණහිට ඇති අතර, මේ වන තුරුත් විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්වී නැහැ.
එමෙන්ම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් – මල්ලිඅප්පු ප්‍රදේශයේදී තේ වත්තක තිබූ විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරුණා.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, වැලිපැන්න, මතුගම, අගලවත්ත සහ වළල්ලාවිට යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට විදුලිය විසන්ධි වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම ප්‍රදේශවල දැනුම්දීමකින් තොරව වරින් වර විදුලිය විසන්ධි කරන බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කළත් ඔවුන් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.
දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.