Gossips

කරන්න්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඝාතනයට සම්බන්ධ අයෙක් අල්ලයි

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (08) රාත්‍රියේ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණි මොහු ඌරගස්මංහන්දිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
ඔහුගේ ගමන් මල්ලේ තිබී ටී – 56 ගිනි අවියක් සහ උණ්ඩ 30ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී අපරාධකරුවන් පැමිණි යතුරුපැදිය, ටී 56 ගිනිඅවියක මැගසිනයක් සහ සැකකරුවන්ට අයත් බවට සැකකෙරන ජංගම දුරකථනයක් ද සොයාගත් බවයි.
ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කරන්න්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ රාත්‍රී 10.15ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.
ඔහු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වී සිය කැබ් රථයෙන් යළි නිවස බලා පැමිණෙන අතරතුර මෙලෙස වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේදීයි.
එහිදී කැබ් රථයේ සිටි රියදුරුගේ එක් අතකට වෙඩි වැදී තුවාල ලැබූ අතර, රථයේ සිටි තවත් පුද්ගලයෙකුට සිද්ධියෙන් කිසිදු හානියක් සිදුවී නැහැ.