Gossips

රංගේබණ්ඩාරගේ පුතු රිමාන්ඩ්

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, මේ මස 12 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ කැබ් රථයක් අනතුරට ලක්වුණේ පෙරේදා අලූයමයි.
එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවූ අතර, කැබ් රථය අසල පිහිටි නිවසක් තුළට කඩා වැදීම නිසා එම නිවසට සහ දේපලවලට දැඩි හානියක් සිදුව තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර බීමතින් සිටි බව ද අනාවරණ වීම විශේෂත්වයක්.
එසේම කැබ් රථයේ තිබී කඩුවක්, හොකී පිත්තක් සහ විකට් කූරක් ද පසුව සොයා ගත්තා.
එසේම අදාළ කැබ් රථය රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් රථයක් බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ.
කෙසේ වෙතත්, අද පස්වරුවේ වාරිමාර්ග සහ ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කපිල ජයසේකර ආරච්චිකට්ටුව පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් එම කැබ් රථය තම අමාත්‍යාංශයට අයත් බව ප්‍රකාශ කර තිබෙනවා.
එසේම යශෝධ රංගේබණ්ඩාර එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන බවයි ඔහු පොලීසියට සඳහන් කර ඇත්තේ.
අනතුරෙන් පසුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද අලූයම පොලීසිය අත්අඩංගුවට ගත්තේ. පොලීසිය කරුණු වාර්තා කිරීමෙන් පසු හලාවත මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලීම මත නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ යශෝධ රංගේබණ්ඩාර පරීක්ෂා කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ යශෝධ රංගේබණ්ඩාරට රාජ්‍ය දේපලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම සහ කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදුකිරීම යන චෝදනා එල්ල වී ඇති බවයි.