Gossips

රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා (06) අලූයම ආරච්චිකට්ටුව පොලිස් වසමේ කෝට්ටපිටිය හන්දියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යශෝධ රංගේබණ්ඩාර ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණීමෙන් අනතුරුවයි.
රාජ්‍ය දේපලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදුකිරීම යන චෝදනා මති රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදී රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ රාජ්‍ය අමාත්‍යාංශයකට අයත් කැබ් රථය පෙරේදා අලූයම අනතුරට ලක්වුණා.
කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි නිවසක් තුළට කඩා වැදී දැඩි ලෙස දේපල හානි ද සිදුව තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධියෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ද තුවාල ලැබූ අතර ඔහු හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.
ඉන් අනතුරුව සැකකරු සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව තිබුණා.