Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතට පර්පෙචුවල් සමාගම ලක්ෂ 32ක් ගෙවයි – රාජ්‍ය අමාත්‍යවරයෙකුට මිලියන 2 ක්

මහ බැංකු බැඳුම්කර නඩුවේ පළමු චූදිත හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පෞද්ගලික වියදම් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලැබුණු මුදල්වලින් පියවා ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි අද අනාවරණය වුණා.
ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කළේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 3ක් අවස්ථා තුනකදී ලබාදී ඇති බවයි.
මහ බැංකු බැඳුම්කර නඩුව අද යළිත් කැඳවනු ලැබුවේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන එහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝෂියස් මහතාට නියෝග කළේ සමාගමේ වත්කම් බැරකම් සහ ආදායම් – වියදම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසටයි.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත නොහැකි බව සිංගප්පූරු පොලිසිය දන්වා ඇති බවයි.
එරට නීතිය අනුව එම දැන්වීම සිදුකළත් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙසට රාජ්‍ය තාන්ත්‍රික් මට්ටමින් සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කරන බව ඔහු සඳහන් කළා.
ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුව කෙටුම්පත් කරමින් සිටින බවයි.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් තවත් සමාගමක් හරහා රාජ්‍ය අමාත්‍යවරයෙකුට ලැබී ඇති බව මෙහිදී ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළා.
ඔහු පැවසුවේ එම රාජ්‍ය අමාත්‍යවරයාට අවස්ථා තුනකදී රුපියල් මිලියන 3 ක් ලැබී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද ගොනුකළ වැඩිදුර විමර්ශන වාර්තාවට අනුව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් අදාළ මුදල් ලබාගත් රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ සුජීව සේනසිංහ මහතායි.
ඉන් රුපියල් මිලියනයක චෙක්පතක් සිය ඇමති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකයෙකු ලවා මාරුකරවාගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් සෘජුවම ලබාදුන් උපදෙස් අනුව බව වැඩිදුර වාර්තාවේ සඳහන්.
එහි දැක්වෙන්නේ අනෙක් චෙක්පත් සුජීව සේනසිංහ මහතාගේ මැතිවරණ සහ මුදල් සම්බන්ධීකාරක විසින් පොලිස් නිලධාරීන් ලවා මාරුකර ඇතිබවයි.
කෙසේ වෙතත් ඔහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටින බව වැඩිදුර වාර්තාවේ දැක්වෙනවා.
ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේ මෙම මුදල් ලැබුණු එක් දිනක ප්‍රශ්නගත බැදුම්කර නිකුතුවක්ද පැවති බවයි.
මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 3.2 ක් චෙක්පත් මගින් ලැබී ඇති බව ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළා.
ඔහු පැවසුවේ අදාළ චෙක්පත් මාරු කර අර්ජුන් මහේන්ද්‍රන්ට ලබා දී තිබූ සීමා රහිතව වියදම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පතේ බිල්පත ගෙවා ඇති බවයි.
මේ ආකාරයෙන් විවිධ පුද්ගලයින්ට පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ලබාදුන් මුදල හෙළිකිරීම සම්බන්ධයෙන් එම සමාගමේහිමිකරුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සිය විරුද්ධත්වය පළ කළා.
එළැඹෙන 20 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිත අතර එදින දක්වා අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.