Gossips

පලාගිය 138 බස් රියදුරුට ලැබුණු දඬුවම

බීමත්ව බස් රථය පදවා රිය අනතුරක් සිදුකර පලාගිය පෞද්ගලික බස් රථ රියදුරෙකුට මාස 3 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
මීට අමතරව ඔහුට රුපියල් 30,000 ක දඩයක්ද නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 3 කින් සිර දඩුවම දීර්ඝ කිරීමටයි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේ.
මෙලෙස සිර දඩුවම් නියමවී ඇත්තේ මාර්ග අංක 138, කොට්ටාව – පිටකොටුව බස් රථයක සේවය කරන 28 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ තරුණයෙකුටයි.
පසුගිය මස 24 වනදා කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඔහු පැදවූ බස් රථය මෝටර් රථයක ගැටී තිබූ අතර පසුව සැකකරු පලා ගොස් තිබුණා.
අනතුරුව කුරුඳුවත්ත පොලිසිය විසින් අදාළ 138 බස් රථය පසුපස ලුහුබැඳ ගොස් බස් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ සැකකාර බස් රියදුරු බීමතින් සිට ඇති බව එහිදීයි අනාවරණ වී ඇත්තේ.
අනතුරුව පසුගිය 25 වනදා සැකකරු ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පසුව ඊයේ දිනයේ නැවත එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි සැකකරුට මෙම දඬුවම් නියම කර ඇත්තේ.