Gossips

රාත්‍රී තැපැල් දුම්රියේ දරු ප්‍රසූතියක්

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී මවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
දරුවා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි දඹුල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
26 හැවිරිදි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන මෙම මව හෘද රෝගී තත්ත්වයකට කොළඹ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබාගෙන පසුව සිය නිවස බලා යමින් සිටියදීයි මෙම දරු ප්‍රසූතිය සිදුකර ඇත්තේ.
ස්වාමියා සමඟ යමින් සිටි ඇයට, හබරණ දුම්රිය ස්ථානය ආසන්න වනවාත් සමඟම දැඩි ප්‍රසව වේදනාවක් දැනී තිබෙනවා.
පසුව මේ පිළිබඳව දුම්රිය නියාමකවරයා වහාම හබරණ පොලීසියට සහ හබරණ මූලික රෝහලට දුරකථනයෙන් දැනුම් දී තිබුණා.
අනතුරුව හබරණ පොලීසියේ ජීප් රථයක්, රෝහලේ ගිලන් රථයක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් සහ තවත් කිහිපදෙනෙකු හබරණ දුම්රිය ස්ථානය වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
හබරණ පොලීසිය පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ තැපැල් දුම්රිය හබරණ දුම්රිය ස්ථානයේ නතර කරන ලෙසටයි.
ඒ අනුව දුම්රිය හබරණ දුම්රිය ස්ථානයේ නතර කරනවාත් සමඟම ඇය දරුවා බිහිකර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ෆෘට්හිල් ප්‍රදේශයේදී කහ ඉර මතින් පාර මාරු වීමට ගිය 11 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වූ කුඩා ලොරි රථයක ගැටී තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මොහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.