Gossips

ඇලෝසියස්ගේ ලැයිස්තුව ගැන කථානායකගෙන් ප්‍රකාශයක්

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලු අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළා.
එහිදී කථානායකවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පළවූ වාර්තාද අසත්‍ය බව පොලීසිය දැනුම්දී ඇති බවයි.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ලවන චෝදනා පිළිබඳ පැහැදිළි කිරීමක් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේදීයි.
කථානායකවරයාගේ එම ප්‍රකාශයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශෙහාන් සේමසිංහ සහ නලින් බණ්ඩාර අදහස් දැක්වූ අතර, ඊට කථානායකවරයාද මැදිහත්වුණා.
මේ අතර පසුගිය අඟහරුවාදා තෝරා පත් කරගැනුනු නව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මුලසුනට පැමිණ සභාවේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.