Gossips

බයිසිකලේ පිරිසක් හැලේ පොහොට්ටුවේ 6 ක් ඇතුළට

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරුපැදිය ලකුනින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ වෙනුවට එම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුලූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හයදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
කාන්ති කොඩිකාරට අමතරව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් චිත්‍රානි සුගතපාල, රේවතී මංගලිකා සිගේරා, සාවිත්‍රි ගුණසේකර, දිනෙත්‍රි කෙයාරා ජයසේකර සහ ඉනෝකා අනුරාධා රණවීර නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී ඇති අතර, ඔවුන්ගේ නම් ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 10 වනදා පැවති පලාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාවට යතුරුපැදිය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙක ජයගත් අතර ඔවුන් එහිදී හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 25 ක්. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස දිවුරුම්දෙනු ලැබුවේ ස්වාධීන කණ්ඩායම් දෙකෙන් තේරීපත් වූ ටිරාජ් ලක්රුවන් පියරත්න මන්ත්‍රීවරයායි.
මෙම පළාත් පාලන ආයතනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර පසුව ඔවුන්ගේ සහයෝගය හිමිවූයේ යතුරුපැදිය ලකුණින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකටයි.
මේ අතර මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් පත්වූ නවක මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් නගර සභාව ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයේ නිරතවනවා.
මේ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර, පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නගර සභාවේ මාසික සැසිවාරය පවත්වාගෙන යන බවයි මහරගම පොලීසියේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.