Gossips

බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් දැයෙන් සමුගනී

දශක ගණනාවක් පුරා ජාතික, ආගමික හා ශාසනික වශයෙන් රට දැයට මහඟු මෙහෙවරක් ඉටු කළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් අද (08) දැයෙන් සමුගත්තා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබදව ආදාහන පූජෝ්ත්සවය පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදීයි.
විහාරස්ථානයේදී සිදුවූ අනතුරකින් පසු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 3 වනදා විමලරතන නාහිමියන් අපවත් වුණා.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ ශ්‍රී දේහයට පසුගිය දින කිහිපයේදී මෙන්ම අදත් ගිහි පැවිදි විශාල පිරිසක් අවසන් ගෞරව දක්වනු ලැබුවා.
ශිෂ්‍ය භික්ෂූණ් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අවසන් ගෞරව දැක්වීමෙන් පසු පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය අද පස්වරු 01 ට පමණ රන්සිවි ගෙයෙහි තැන්පත් කළා.
ශ්‍රී දේහය රැගත් රිය පෙරහර ආදාහන පූජෝත්සවය පැවැත්වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරා ගමන් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.
අතිවිශාල පිරිසක් ශ්‍රී දේහයට ගෞරව පුදකිරීමට මඟ දෙපස එක්ව සිටියා.
බෙල්ලන්විල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර බොරලැස්ගමුව හන්දියෙන් රත්තනපිටිය දක්වා පැමිණ විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර සරසවි පරිශ්‍රයට ඇතුළුවද්දී ඊට ගුවනින් පුෂ්පෝපහාරද දක්වනු ලැබුවා.
ශ්‍රී දේහය රැගත් රිය පෙරහර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනය වෙත ළගාවීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා.
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වුණු ආදාහන පූජෝත්සවය සඳහා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රධාන, ආගමික පූජකවරුන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් ඉටු කළේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් විසින්.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මෙහිදී අනුශාසනාවක් සිදුකළා.
අනතුරුව ආදාහන පූජෝත්සවය ඇමතුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.
ඉන් අනතුරුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනතුරුව අවමංගල්‍ය පූජෝත්සවය ඇමතුවේ.
අනතුරුව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ගේ ශ්‍රී දේහය උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූණ් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් චිතකය කරා වැඩම කරවනු ලැබූ අතර, ඊට ගිනි දැල්වූයේ ඉන් පසුවයි.