Gossips

අයි.කේ. මහානාම සහ පී. දිසානායක යළි රිමාන්ඩ්

රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මේ මස 19 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී තම සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥයන් ඉල්ලීමක් කළ අතර අල්ලස් කොමිසම ඊට විරෝධය පළ කළා.
සැකකරුවන් රාජ්‍ය සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් බැවින් ඇප ලබාදුනහොත් පරීක්ෂණවලට බාධා සිදුකළ හැකි බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව ලබන 19 වනදා දක්වා සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක, එදිනට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා.
කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කොළඹ පිහිටි හෝටලයක රථගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදා පස්වරුවේයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් හෝටල් රථගාල තුල අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2ක කප්පම් මුදල ගණන් කරමින් සිටි බව සඳහන්.