Gossips

බ්‍රිගේඩියර් ගැන විදේශ අමාත්‍යාංශය යළි ලන්ඩනයට ලියයි

ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි රාජකාරි පවරන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය එරට මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් පසුගිය 4 වනදා පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර කිසියම් සංඥාවක් නිකුත් කිරීම පදනම් කර ගනිමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජකාරි කටයුතු අත්හිටවූ බව විදේශ අමාත්‍යාංශය පෙරේදා (06) ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඊයේ (07) ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ ඔහුට අදාළ රාජකාරි යළි පවරන ලෙසයි.
එහෙත් එම නියෝගය විදේශ අමාත්‍යාංශය වෙත නොලැබුණු බවට ද විවිධ වාර්තා පළ වුවත්, විදේශ අමාත්‍යාංශයට මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට ද ඊට අදාළ දැනුවත් කිරීම් සිදුකළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අවධාරණය කළා.
මේ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් යුද හමුදා පරීක්ෂණයක් සිදුකිරීම අවශ්‍ය නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජකාරි අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් සිංහලේ අපි ජාතික සංවිධානය අද කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එහිදී අමාත්‍යාංශයට සංදේශයක්ද භාරදුන් බවයි එහි සභාපති පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් කියා සිටියේ.