Gossips

පළමුව වෙඩි තැබුවේ භාරත පාර්ශවය, දුමින්දට දුන් තීන්දුව නීත්‍යානුකූල නෑ, ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දෙයි

භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් පළමුව වෙඩි තැබීමෙන් පසු දෙවනුව අනෙක් පාර්ශ්වය වෙඩි තැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ආරක්ෂා කිරීම ඔවුන්ගේ රාජකාරිය වූ නිසා බව ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
ඔහු තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඔප්පු කර සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනය 7 වැනි දිනට අද (04) විභාගයට ගැනුණා.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා සිය ආරක්ෂකයෙකුට ගිනි අවියක් ලබාගන්නා ලෙසට නියෝග කළ බවට තීන්දුවේ සඳහන් කර තිබුණත් ඒ බව කිසිදු සාක්ෂිකරුවෙකු ප්‍රකාශ කර නොමැති බවයි.
ඡන්ද දායකයින්ට ගිනි අවි පෙන්වා බිය ගැන්වූ බවට චෝදනා කර තිබුණත් දුමින්ද සිල්වා මහතා එවැන්නක් සිදුකර නොමැති බව අධිකරණයේද මතය වූ බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ නඩු තීන්දුව උපුටා දක්වමින්.
ඔහු පැවසුවේ එම නිසා පොදු අරමුණකින් කටයුතු කළ බවට කර තිබූ චෝදනාවෙන්ද දුමින්ද සිල්වා මහතා නිදහස් කළ යුතු බවයි.
ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා පුද්ගලයෙකුට පහරදුන් බවට තවත් චෝදනාවක් ගොනුකර තිබුණද එම සිද්ධියේ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොවූ බවයි.
භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් පළමුව වෙඩි තැබීමෙන් පසු දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂකයින් ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම සඳහා දෙවනුව වෙඩි තබා ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
ඔහු සඳහන් කළේ එම සිද්ධියේදී දුමින්ද සිල්වා මහතා නිවැරදිකරු නිසා දුමින්ද සිල්වා මහතා කෙසේ හෝ වරදට පත් කිරීමේ චේතනාවෙන් ඉතා සාවද්‍ය සිද්ධීන් විමර්ශකයින් නිර්මාණය කළ බවයි.
ඒ බව නඩු විභාගයේදී පෙන්වා දුන්නද එම කරුණු මෙන්ම රස පරීක්ෂක වාර්තාව ඇතුළු සාක්ෂිද නිසි විශ්ලේෂණයකට ලක් නොකර දුමින්ද සිල්වා මහතාට දඬුවම් ලබා දී ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ නඩු තීන්දුව උපුටා දක්වමින්.
මෙවන් තත්ත්වයක් මත දුමින්ද සිල්වා මහතාට දඬුවම් ලබාදුන් තීන්දුවේ කිසිදු නීත්‍යනුකූල ස්වභාවයක් නොමැති බව ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නා.
මීට ඉහත අභියාචනා විභාගවලදී ජනාධිපති නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි පරස්පර බවත් කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් බවයි.
චෝදනා පත්‍රයේ නොමැති කරුණු සඳහා දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කර ඇති බවත් එය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන බවත් ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.
ඔවුන් සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා මහාධිකරණයේදී පෙන්වා දුන්නත් ඒවා නඩු තීන්දුවේදී නිසි සැළකිල්ලට ගෙන නොමැති බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ එලෙස ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා මහතාට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.
ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරුන් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
ඔවුන් පැවසුවේ දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදුණු සිද්ධිය භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් ආරම්භ කර තිබුණද තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බවයි.
මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි ගණනාවකින් දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව තහවුරු කළද එය අදාළ නොවන බවට තීන්දුවේ ප්‍රකාශ කිරීම ඊට හොඳම උදාහරණයක් බව ජනාධිපති නීතීඥවරුන් ප්‍රකාශ කළා.
ඔවුන් පැවසුවේ දුමින්ද සිල්වා මහතාගේ හිස ඉදිරිපසට වෙඩි වැදුණු බවට අධිකරණ වෛද්‍ය වාර්තා මගින්ද සනාථ කර ඇති බවයි.
ජනාධිපති නීතිඥවරුන් වැඩිදුරටත් සදහන් කළේ සාක්ෂි හෝ කරුණු මත නොව, දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබා දී ඇති බව හා නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බවයි.
එමනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරුකළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඔප්පු කළා.
ඔවුන් පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.
ජනාධිපති නීතීඥවරුන් තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.
ඔවුන් පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී දුමින්ද සිල්වා මහතාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.
අභියාචනයේ වැඩිදුර විභාගය හෙට (05) යළි සිදුකිරීමට නියමිතයි.