Gossips

රත්නපුර නිවිතිගල ප්‍රධාන මාර්ගය වසා දමයි

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර නිවිතිගල ප්‍රධාන මාර්ගයේ කම්ඹදොල පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් නවතා තිබෙනවා.
ඒ අනුව රත්නපුර සිට නිවිතිගල සහ කලවාන ප්‍රදේශවලට ගමන්කරන රථවාහන රත්නපුර ඇළපාත, පලාවෙල මාර්ගය ඔස්සේ කරවිට ප්‍රදේශයෙන් රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.
නිවිතිගල සහ කලවාන ප්‍රදේශවලට ගමන්කරන රථවාහන රත්නපුර කොටාමුල්ල, හංගමුව හරහා කරවිට ප්‍රදේශයෙන් රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.
නිවිතිගල දෙසට ගමන්කරන රථවාහන රත්නපුර මාරපන, මඩහන්දිය ඔස්සේ දෑල ප්‍රදේශයෙන් නිවිතිගල මාර්ගයට සම්බන්ධ විය හැකියි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ කේ ජී ඩී කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ කාලගුණ තත්වය යහපත් වුවහොත් සති දෙකක පමණ කාලයකදී පාලම යතාතත්වයට පත්කිරීමට හැකියාව ඇති බවයි.
මෙලෙස ගිලාබැසීමේ අවදානමකට ලක්ව ඇත්තේ මීට වසර 100කට පමණ පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකර ඇති පාලමක් බවයි වාර්තා වන්නේ.
එහි පති බැමි ද්විත්වය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකර ඇත්තේ කුට්ටි ගල් යොදාගනිමින් බවත් පැවති ගංවතුර තත්වය හේතුවෙන් එම බැමිවලට දැඩිලෙස හානි සිදුව ඇති බවත් වර්තාවනවා.