Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් (ඡායාරූප)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කෙරුණා.
මෙහිදී නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය දුමින්ද දිසානායකයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අපේ ගම පරිශ්‍රයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී මෙම තාවකාලික පත් කිරීම් සිදුකෙරුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න අද යළි පත් කෙරුණා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ මධ්‍යම කාරක සභා හමුවේදියි.
මීට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත පත්කර තිබෙනවා.
එස්.බී. දිසානායක හිටපු අමාත්‍යවරයා තවදුරටත් භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කරනු ලබනවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාව සඳහා නම් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ජනාධිපතිවරයාගේ සහ මධ්‍යම කාරක සභිකයන්ගේ පැමිණීමෙන් අනතුරුව අද පෙරවරු 10.15ට පමණ මධ්‍යම කාරක සභා හමුව ඇරඹුණා.
පසුගිය 17 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා හමුවේදී ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අද අවසන් තීරණයක් ගනු ලබන බවට වූ එකඟතාවක් සමඟයි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුවුණේ.
මෙම තාවකාලික නිලධාරී මණ්ඩලය ජනාධිපතිවරයා විසින් යෝජනා කෙරෙන අතර ඉන් අනතුරුවයි ඒ සඳහා මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීම සිදුවුණේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුර සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් ඇතිවූයේ ආණ්ඩුව නියෝජනය කළ නියෙෝජය කථානායකවරයා ඇතුලූ 16 දෙනෙකු ඉවත්ව යාමත් සමඟයි.
මුලින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කෙරෙන අතර, ඉන් අනතුරුව පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මීට පෙර ප්‍රකාශයට පත් කළේ.