Gossips

ජල සේවක වර්ජනයෙන් සැපයුුමට බාධා – තැපෑලත් අද මධ්‍යම රාත්‍රියේ සිට නවතී

වැටුප් ඉහළ නොදැමීමට විරෝධය පල කරමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ ස්ථාන කිහිපයක ජල සැපයුම අඩාලවී ඇති බව වාර්තාවනවා.
එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අපජල පද්ධති නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් විශාල ගැටළුවක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි.
මේ අතර තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථීර කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි.
එමෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලනික පදනම මත පත්වීම් ලබාදීමට කටයුතු කිරීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමයද වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සැළසුම් කර තිබෙනවා.
එහි ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දේශපාලන පත්වීම් ලබාදීම නතර නොකළහොත් සියලූ ගුරු සංගම් එක් කරගනිමින් දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.