Gossips

හිරු CIA අනාවරණයෙන් පසු

කොළඹ ඇතැම් ස්ථානවල අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් මුදල් සූරා කන පේ පොයින්ට් ටිකට් යන්ත්‍ර පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ, හිරු සී.අයි.ඒ. මේ සම්බන්ධයෙන් කළ අනාවරණයකින් පසු එම නිලධාරීන් ගාලු මුවදොර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ටිකට් යන්ත්‍ර පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
කොළඹ අවට ඇතැම් ස්ථානවල රථවාහන ගාල් කර තැබීමේදී පේ පොයින්ට් නමින් ස්ථාපිත කර ඇති මෙම යන්ත්‍ර හරහා සිදුවන වංචාවන් සම්බන්ධයෙන් අප හිරු සී.අයි.ඒ හරහා පසුගියදා හෙළි කළා.
මෙම යන්ත්‍රවලින් ලබාගන්නා ටිකට් පත වාහනයේ ප්‍රදර්ශනය කළ යුතු අතර එසේ නොකරන්නන්ට දඩ මුදලක්ද අය කිරීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් මෙම ක්‍රමවේදයේ දෝෂ පවතින බැවින් කොළඹ නව පුරපතිනි රෝසි සේනානායක මහත්මිය එම ක්‍රමය තහනම් කළා.
මෙලෙස ස්ථාපිත යන්ත්‍රවල දක්නට ලැබුණු ප්‍රධානතම දුර්වලතාවයක් වූයේ ටිකට් පතට අදාළ මුදල ගෙවීමට එම යන්ත්‍රය තුළට මුදල් ඇතුළු කළ පසු ඉතුරු මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් නොතිබීමයි.
මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පසුගියදා මෙම යන්ත්‍ර පිහිටා ඇති ගාලුමුවදොර ප්‍රදේශයට පැමිණ පරීක්ෂාවට ලක් කළා.
අප සිදුකළ අනාවරණයෙන් පසු පාරිභෝගික කටයුතු අධිකාරී නිලධාරීන්ගේ දෑස් විවරවීම අගය කළ යුත්තක් වුවද මහජනතාව පීඩාවට පත්කරන මෙම යන්ත්‍ර ස්ථාපිත කරන තෙක් මෙම නිලධාරීන් සිටියේ කොහිද ?
රටේ පවතින සාමාන්‍ය නීතිය අබිබවා මූලික පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරන මෙම ක්‍රියාදාමයට උල්පන්දම් දුන් නගර සභා බලධාරීන්ට මේ සම්බන්ධයෙන් කීමට ඇත්තේ කුමක්ද ?
අඩු පාඩු කොතෙක් තිබුණත් තවදුරටත් පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරමින් මහජනතාව සූරාකෑමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද ?
වරද නිවැරදි කරන තෙක් හිරු සී.අයි.ඒ අවදි නෙත නිරන්තර විමසිල්ලෙන්.