Gossips

බියගම ප්‍රදේශ කිහිපයකට බෙදා හැරෙන ජලයේ දුඟදක්

බියගම ජල පවිත්‍රාගාරයෙන් ප්‍රදේශ කිහිපයකට සැපයෙන ජලය අධික දුඟදකින් යුක්ත බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
මේ අනුව කැළණිය, වත්තල, රාගම, බියගම සහ කඩවත ඇතුලු ප්‍රදේශ ගණනාවක ජල පාරිභෝගිකයින් කියා සිටියේ දින කිහිපයක සිට තමන් මෙම ගැටළුවට මුහුණදෙන බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිෂ්පාදන අංශයේ සාමාන්‍යාධිකාරී එස්. සුමනවීර කියා සිටියේ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ කුඹුරුවල තැන්පත් වූ ජලය මෙලෙස පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා මාර්ගයට එකතු වී ඇති බවයි.
එය එකතු නොවන ලෙසට කටයුතු කර ඇති අතර මේ වන විට බෙදා හරින ජලයෙහි දුඟදක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ජලසම්පාදන සේවකයින්ගේ සති අන්තයේ නඩත්තු කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට ක්‍රියාත්මකයි.
වැටුප් ඇතුලු ඉල්ලීම් 03ක් මුල් කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බව ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.