Gossips

රජගලතැන්නේ කැණීම්වලින් මධ්‍යම ශිලා යුගයේ තොරතුරු රැසක් (ඡායාරූප)

අම්පාර රජගලතැන්න ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව පවසනවා.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉන්දියාවේ ඩෙකෑන් සරසවිය විසින් 2016 වසරේ මෙහි කැණීම් ආරම්භ කළ අතර එමගින් තහවුරු වූ කරුණු අනුවයි කැණීම්වල දෙවන පියවර ආරම්භ කර ඇත්තේ.
අප වාර්තාකරු සඳහන් කළේ මෙහිදී මානවයා විසින් එදිනෙදා කටයුතු සඳහා භාවිත කෙරුනු ගල් ආයුධ බවට විශ්වාස කෙරෙන උපකරණ ඇතුලු වැදගත් තොරතුරු රැසක් හමුවී ඇති බවයි.
මිනිස් දත්, ආහාරයට ගත් සත්වයන්ගේ අස්ථි කොටස්, අගුරු, අලු, සර්පයෙකුගේ අස්ථි කොටස් මෙහිදී හමුවී තිබෙනවා.
කැණීම්වලදී හමුවූ කොටස් මධ්‍යම ශිලා යුගයට අයත් ඒවා බවට විශ්වාස කළ හැකි අතර රසායනාගාර පරීක්ෂණවලින් ඒවායෙහි ඉතිහාසය හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි කැණීම්වල නිරත මහාචාර්යවරුන් ප්‍රකාශකර තිබෙනවා.
රජගලතැන්න කැණීම්වලදී ඉපැරණි නටඹුන් ද මීට පෙර හමුවී ඇති අතර සෙල් ලිපි 80 ක් පමණ ද හමුවී තිබුනා.
මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා ඇති මෙම පුරාවිද්‍යා භූමියෙන් මේවන විට ඓතිහාසික ස්ථාන 700 ක් හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.


ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල