Gossips

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ – සාකච්ඡා ඇණ හිටී

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා දෙපාර්ශවය අතර, විසම්මුතියක් හේතුවෙන් ඇණ හිට ඇති බව රොයිටර් වාර්තා කළා.
ඒ අදාළ නිදහස් වෙළඳ ගිවිසුම වසර 10 කට පසු ඇගයීමකට ලක් කළ යුතු බවට ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන කොන්දේසිය චීනය විසින් පිළිනොගැනීම හේතුවෙන්.
රොයිටර් පුවත් සේවය සුවිශේෂී වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇති එම පුවතට අනුව චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාවට නැංවීම තවදුරටත් පමා වනු ඇති.
නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවේ මෙරට පාර්ශවය මෙහෙයවන කේ.ජේ.වීරසිංහ රොයිටර් පුවත් සේවය වෙත සඳහන් කර ඇත්තේ ගිවිසුම යළි ඇගයීමේ අයිතියක් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු බවයි.
කෙසේ නමුත්, ගිවිසුමේ දිගු කාලීන ස්ථාවරභාවයක් අපේක්ෂා කරන චීනය අදාළ කොන්දේසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහෙත් රොයිටර් පුවත් සේවය කළ විමසීමකදී චීන වානිජ අමාත්‍යාංශය ඊට ප්‍රතිචාර දක්වා නැහැ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර, හුවමාරු වන භාණ්ඩවලින් සියයට 90 ක් සඳහා බදු වහා ඉවත් කිරීම නිදහස් වෙළඳ ගිවිසුම තුළින් චීනය අපේක්ෂා කරන බව මෙරට ප්‍රධාන සාකච්ඡා නියෝජිත කේ.ජේ.වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ අදහස වී ඇත්තේ සියයට 50 ක භාණ්ඩ සඳහා බදු නිදහස් කොට 20 වසරක කාලයක් තුළ එය ක්‍රමානුකූළව පුළුල් කිරීමයි.