Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට ඇප

මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් අද නියෝග කළා.
ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
එහෙත් මන්ත්‍රීවරයා සමඟ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මොහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ලබන මස 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ නියමිත ඇප කොන්දේසි සපුරා ලීමට නොහැකි වීම හේතුවෙන්.
2008 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ නඩුවට අදාලව ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත පෙරේරා පසුගිය මාර්තු මස 19 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ.
එමෙන්ම මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට සහ තවත් පුද්ගලයෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද මරණ දඩුවම නියම කළා.
2003 වසරේදී බූස්ස – දැල්කඩ ප්‍රදේශයේ දී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති අතර එහිදී මරණදඩුවම නියම වුණේ අවුරුදු 35, 42, සහ 45 යන වයස්වල පසුවන බූස්ස -රෙජ්ජිපුර ප්‍රදේශයේ පිරිසකටයි.
මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අගෝස්තු මස 28 වනදා සිට විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද දින නියම කළා.
එදිනට මෙම නඩුවේ පළවන සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කෙරුණේ.
අභ්‍යන්තර කටයුතු සහ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සේවයකන් 153 දෙනෙකු සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදවා ගනිමින් රජයට රුපියල් කෝටි 4 කට අධික පාඩුවක් සිදුකිරීම ඇතුලූ චෝදනා විස්සක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.